අගෝස්තු 15 රාජගිරියට විශේෂ ආරක්ෂාවක්

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනෙන අගෝස්තු 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

එබැවින්, එදිනට එම ප්‍රදේශයට රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා.

"මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ මස 15 වනදා පෙ.ව 9  - පෙ.ව 11 දක්වා කාලය තුළ සිදුකෙරෙනවා. එදිනම පෙ.ව 9 - පෙ.ව 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට කාලය වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද අපේක්ෂකයින් සඳහා ස්වාධීනව ඉදිරිපත් වන හා වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා ලකුණු වෙන්කිරීම සිදුවන්නේ විරෝධතා කාලසීමාව අවසානයෙන් පසුවයි. මෙම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත කලාපයට විශේෂිත ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයින්ට සහ අවසරලත් වාහනවලට පමණයි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා15 වෙනිදා දිනයේ දී සරණ මාවත ආශ්‍රිත රජයේ කාර්යාල හා රෝහල් එදින වසා තැබෙන බැවින් සාමාන්‍ය කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසය. නාමයෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි පැවැත්විය නොහැකියි. නාමයෝජනා භාරගෙන අවසන් වූ වහාම අපි ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා."

මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ නුවරඑළියේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව කියා සිටියේ, මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 320කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.


අලි සබ්රිට තවත් ඇමති ධුරයක්

 

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

නාමල් දිනවන පොහොට්ටුවේ මංගල රැලිය ලබන 21දා


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසුවා.

මේ වන විට එම නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (11) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ජනාධිපතිවරණය සඳහා අනුර කුමාර නාමයෝජනා අත්සන් කරයි

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.


මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙක්ද සහභාගි වුණා.


මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

 

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 17ක් වාර්තා වූ බවයි.

තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (11) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි මැතිවරණ පැමිණිලි 337ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 



පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු ස්ථානය අමෙරිකාව ට

 

දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා.

රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් වුණා.

ඒ එතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානය ඇද දමමින්.

අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත්තා.

දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගනු ලැබුවා.

තුන්වැනි ස්ථානය ජපානය සතු වුණා.

විචිත්‍රවත් වු සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රරාන්ස් ක්‍රීඩාගාරයට පැමිණියා.

එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ට පැවරී තිබුණා.

වැයුම් ගැයුම්වලින් අලංකාර වු පැරිස් ඔලිම්පික් උලෙළේ සමාප්තිය සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රෙක්ෂකයින් 70,000කට ඉඩකඩ වෙන් කර තිබීමත් කැපී පෙනෙන කරුණක් වුණා.

අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කළා.

34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය අමෙරිකාවට භාර දෙනු ලැබුවා.


විස්සයි 20 පළමු තරගයේ ජය ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වුණා.

පසුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 04ක් අවසානයේ දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා.

මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ලබා ගැනීමට ද සමත් වුණා.


දෙරට අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

© all rights reserved
made with by templateszoo