කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගත්තා.
අද (23) අලුයම 1ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී එම මළ සිරුර කුරුඳුවත්ත පොලීසිය මඟින් සොයා ගනු ලැබුවා.
පසුව ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බවයි.
ත්‍රිරෝද රථය තම මස්සිනාට කූලී ගමන් යෑම සඳහා ලබා දී ඇති බව, එම පුද්ගලයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත.
ඒ අනුව පොලීසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා 33න් හැවිරිදි චමින්ද කුමාර නම් ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
දිවා කාලයේදී ඇලුමීනියම් ආශ්‍රිත රැකියාවක නිරතව ඇති ඔහු රාත්‍රී කාලයේදී කුලී රථ ධාවනය කරන අයෙකු බව පොලීසිය සඳහන් කළා.
ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බවත් පොලීසිය පැවසුවා.ඝාතනයට ලක් වූ පුද්ගයාගේ පපුවේ සහ ගෙලෙහි තියුණු ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් ඇති වූ තුවාල දෙකක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.
එමෙන්ම ඔහුගේ සිරුර පසුපස අසුන අසළ වැටී තිබීම හේතුවෙන් පොලීසියට සැකයක් මතුව තිබෙනවා.
ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩියක් කැඩී මාර්ගයේ වැටී තිබුණා.
කෙසේවෙතත් ඝාතනය කළ පුද්ගලයා හා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඒ අනුව පොලිසිය ප්‍රදේශයේ ඇති CCTV කැමරාද පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.
මේ අතර අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකළා.
අනතුරුව දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment